අවශ්‍ය ද්‍රව්‍ය
• පිටි කෝප්ප 2
• සීනි මේස හැඳි 4
• බිත්තර 1
• දියකරගත් බටර් මේස හැඳි 4
• කිරි කෝප්ප 1/2
• යීස්ට් තේ හැඳි 1
• බේකින් පවුඩර් තේ හැඳි 1
මද උණුසුම් කිරි එකට යීස්ට් හා සීනි එක්කර දිය කරගෙන පැත්තකින් තියන්න.
බිත්තරය කඩා වියලි බඳුනකට එක් කර ගන්න. කහමද සුදුමද එක් වන ලෙස හොඳින් ගසා ගන්න. ඉතිරි සීනි හා දියකරගත් බටර් එක් කරගෙන සියල්ල හොඳින් ගසා ගන්න. එයට කලින් සකස් කර ගත් යීස්ට් මිශ්‍රණය එක් කරන්න. (යීස්ට් පෙණ මතුකරමින් සක්‍රීය වී තිබිය යුතුයි)
පිටි ටිකට බේකින් පවුඩර් එක් කර හලා ගන්න. මිශ්‍රණයට පිටි සෙමින් එක් කරගෙන සියල්ල හොඳින් කලවම් කරගන්න. ඩෝ එකක් සැකසුනු පසු එය පිටි ඉස ගත් මතුපිටකට ගෙන හොඳින් අනා ගන්න. එක් අතක අල්ලාගනිමින් අනෙක් අතේ අල්ලෙන් ඉදිරියට තල්ලු කර ඩෝ එක ඇදෙන ලෙස කරකවමින් අනා ගන්න. ඉතා මෘදු ඩෝ එකක් බැවින් පහසුවෙන් අනා ගත හැකියි. ඩෝ එක අතේ නොඇලෙන පදමට පැමිණි විටරම රවුමට සකස්කර මතු තෙල් ස්වල්පයක් තවරා, තෙල් ආලේප කරගත් බෝල් එකක දමා රෙද්දකින් වසා උණුසුම් ස්ථානයක තබන්න.
ඩෝ එක ආසන්න ලෙස දෙගුණයක් වූ පසු එහි වාතය ඉවත් කර (ඇඟිලි වලින් තදකිරීමෙන්) නැවත විනාඩියක් පමණ අනා රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කර ගන්න. මදක් ඝන ආකාරයෙන් තුනී කරගත් ඩෝ එක රවුම් උපකරණයක් ආධාරයෙන් රවුම් කපා ගන්න. කුඩා රවුමක් ආධාරයෙන් මැද රවුම කපා ඉවත්කර ගන්න. (ඩෝනට් කටර් එකක් ආධාරයෙන් කපාගත හැකියි.)
Toppings
1. Cinnamon Sugar
සීනි හා කුරුඳු එකට හොඳින් කුඩු කර ගන්න.
2. Chocolate
උණුසුම් කිරි ස්වල්පයකට අයිසින් සීනි, චොක්ලට් පවුඩර් එක් කර හොඳින් කලවම් කරගන්න. තරමක් උකු ලෙස සකස් කර ගන්න.
3. Sugar glaze
උණුසුම් කිරි ස්වල්පයකට අයිසින් සීනි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. උකු මිශ්‍රණයක් සකස් කර ගන්න.
4. බටර් ක්‍රීම්
කිරි ස්වල්පයක්, බටර් හා අයිසින් එක් කර බටර් ක්‍රීම් සාදා ගන්න.
5. ඩැල්ගෝනා බටර් ක්‍රීම්
ක්ෂණික Coffee, සීනි හා වතුර එකට හොඳින් ගසා ගෙන ඝන මිශ්‍රණයක් සකස් කර ගන්න. ඉහත සකස් කල බටර් ක්‍රීම් මිශ්‍රණයට සකස් කරගත් කෝපි මිශ්‍රණය කලවම් කර ගන්න.
බැදගැනීම
ගැඹුරු තාච්චියක තෙල් මද ගින්නේ රත් කරගන්න. සාමාන්‍ය තරමට රත් වූ පසු ඩෝනට් එක බැඟින් තෙලට දමා බැද ගන්න. රන්වන් පැහැ වූ පසු අනෙක් පස හරවා දෙපැත්තම බැදගන්න.
කුරුඳු සීනි වල ඩෝනට් උණුවෙන්ම තවරා ගන්න.
බටර් ක්‍රීම් සඳහා ඩෝනට් එක මැදින් හරහට කපා ක්‍රීම් එක ආලේප කර ගන්න.
චොකලට් හා සීනි ද්‍රාවණය උඩින් වත්කරගන්න.
අයිසින් සීනි උඩින් ඉස ගැනීමද කල හැකියි.
තමන් කැමති ආකාරයෙන් ටොපින් එක් කර ඩෝනට් සරසා ගන්න.
© kalSwijesooriya @ KC & Baby K










