Tuesday, May 26, 2020

පොල් කේක් - බිබික්කං (Coconut cake)



අවශ්‍ය ද්‍රව්‍ය 

•ගාගත් පොල් ගෙඩියක්
•පොල් පැණි 400ml
•දුඹුරු සීනි කෝ. 1/4
•එනසල්, කරාඹුනැටි, කුරුඳු කුඩු
•වැනිලා ස්වල්පයක්
•රෝස් එසන්ස් හෝ ආමන්ඩ් එසන්ස් ස්වල්පයක්
•බිත්තර 2
•පාන් පිටි 125g
•බේකින් පවුඩර් 1ts
•බේකින් සෝඩා 1/2ts
•රුලං කෝ.1/2
•රට ඉඳි 100g
•පලම්ස්/ රේසින්/ සුල්තානා 50g
•රටකජු/ කජු/ ආමන්ඩ් 50g
•කැන්ඩිඩ් පීල්ස් 25g (දොඩම් ගෙඩියක පිටත පොත්ත කුඩා කැබලි වලට කපාගන්න. මිරිකා ගත් දොඩම් යුෂ සමඟ පොතු ටික ලිප තබා හොඳින් උයාගන්න. අවශ්‍ය නම් සීනි ස්වල්පයක් එක් කරන්න. යුෂ හිඳුනු පසු එම පොතු ටික මේ සඳහා භාවිතා කල හැකියි)
•ගා ගත් දෙහි ගෙඩියක පොත්ත

සකස්කරන ආකාරය


සීනි ටික කැරමල් කරගන්න.
වතුර ස්වල්පයක් එක් කර කැරමල් එක දිය කරගන්න. එයටම පොල් පැණි එක් කර බුබුලු දමන තුරු හැඳි ගාමින් රත් කරගන්න.
හොඳින් බුබුලු මතු වන විට පොල් ටික එකතු කර කලවම් කරන්න. සුවඳ කුඩු සියල්ල එකතු කර ගන්න. වැනිලා එක් කරන්න. සාමාන්‍ය තෙත ගතියක් ඇතිව ලිපෙන් බා ගන්න. නිවෙන්ට තබන්න.

රුලං ටික සුවඳ හමන තුරු යන්තම් කබලේ බැද ගන්න.
පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා එකට හලාගන්න.
බිත්තර ටික පෙණ එන තුරු ගසා ගන්න.
රටඉඳි, ප්ලම්ස්, කජු සියල්ල කුඩාවට කපා ගන්න.

හොඳින් නිවුණු පොල් පැණි මිශ්‍රණයට, ඉහත සකස්කර ගත් සියල්ල එක් කර කලවම් කරන්න. රෝස් එසන්ස් හෝ ආමන්ඩ් එසන්ස් එක් කර මිශ්‍ර කරගන්න.

බටර් ගා, තෙල් කඩදාසි එලා සකස් කරගත් තැටියට කේක් මිශ්‍රණය 
එක් කර තට්ටු කරමින් සමතල කරගන්න.
පෙර රත් (pre-heat) කරගත් උඳුනක 180°C ට විනාඩි 40ක් පුලුස්සා ගන්න.

ලිපේ සකස් කිරීමට නම් තැටියට තෙල් කොලයට අමතරව පත්තර කීපයක් ද අතුරා සකස් කරගන්න. ලිපේ අඩුම ගින්දරේ විනාඩි 40-45 ක් පුළුස්සා ගන්න.



© kalSwijesooriya @ KC & Baby K

Saturday, May 16, 2020

Energy Balls/ Protein Balls (පෝෂණ අග්ගලා)



Energy Balls (especially for babies)  
ශක්තිජනක අග්ගලා (බබාලාට විශේෂයි)


අවශ්‍ය ද්‍රව්‍ය

•බටර් මේස හැඳි 2-3
•අයිසින් සීනි හෝ කුඩුකරගත් සාමාන්‍ය සීනි (අවුරුද්දට අඩු බබාලාට රටඉඳි සිරප් එක්කල හැකියි) මේස හැඳි 1-2 රස අනුව
•කැමති පැණි වර්ගයක් (මීපැණි නම් අවුරුද්දට වැඩි දරුවන්ට පමණක්) මේස හැඳි 1-2 රස අනුව
•ප්‍රෝටීන් පවුඩර්/බබාට ලබා දෙන කිරි පිටි මේස හැඳි 2
•චොක්ලට් පවුඩර් මේස හැඳි 1
•ලොකුවට ගා ගත් පොල් මේස හැඳි 1-2 කබලේ බැද 

පහත ද්‍රව්‍ය වලින් කැමති වර්ග කීපයක් - සෑම මේස හැඳි 1-2 kg  බැගින් ලබා ගන්න. 

•කබලේ බැද කැබලි සිටින ලෙස කුඩු කරගත් වියලි ඇට වර්ග - රටකජු, කජු, ආමන්ඩ්, පිස්ටා, වෝල් නට්, හේසල් නට් හෝ වෙනත්
•කැමති ධාන්‍ය වර්ගයක් කුඩුකර ගත් පිටි - මුං ඇට කබලේ බැද කුඩු කර, කඩල පිටි, කෝන් පිටි හෝ කෝන් ෆ්ලේක්ස් කැබලි කර හෝ වෙනත්
•කුඩාවට කපා ගත් වියලි පළතුරු වර්ග - රටඉඳි, පලම්ස්, රේසින් ක්රැන්බෙරි, ඇප්රිකොට් හෝ වෙනත්
•ක්ෂණික ඕට්ස්, රුලං, තල, හබල පෙති හෝ වෙනත් 

(මා මෙහි එක් කර ඇත්තේ ආමන්ඩ්, පිස්ටා, මුං ඇට, කොන්ෆ්ලේක්ස්, රටඉඳි, පලම්ස්, ක්රැන්බෙරි, ඕට්ස්, තල, රුලං)
 
තරමක් ලොකු බෝල් එකක් ගෙන එයට සියලුම ඉහතින් තෝරාගත් ද්‍රව්‍ය එක්කර ගන්න. 

එයටම සීනි පවුඩර්, චොක්ලට් පවුඩර්, ප්‍රෝටීන් පවුඩර්, මිල්ක් පවුඩර් හා පොල් ද එක් කර සියල්ල සමානව පැතිරෙන පරිදි අතින් කලවම් කරන්න. 

අවසානයේ පැණි හා බටර් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
සාදාගන්නා මිශ්‍රණය අතින් බෝල සකස්කර ගත හැකි තරමට යන්තම් තෙත් ස්වභාවයකින් යුක්ත විය යුතුයි. එසේ නොමැති නම් බටර් එක් කර නැවත මිශ්‍ර කරන්න. අවශ්‍ය පැණි රස අනුව පැණි වුවත් එක් කර ගත හැකියි. 

තෙත ස්වභාවය වැඩි වුව හොත් නැවත චොක්ලට් පවුඩර් ස්වල්පයක් එක් කර අවශ්‍ය තරමට සකස් කරන්න.

සෑදුණු මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණ ගෙන ඇඟිලි වලින් තද කරමින් බෝල සකස් කරගන්න.

(තෝරා ගත් ද්‍රව්‍ය එක් කර, වෙනස් වර්ග දෙකකින් සාදා ගත් energy balls මෙහි දැක්වේ)



© kalSwijesooriya @ KC & Baby K

Tuesday, May 12, 2020

වැලිතලප (සීනි වලින්) - Welithalapa


අවශ්‍ය ද්‍රව්‍ය

• සුදු කැකුළු හාල් පිටි කෝ. 2 (සහල් දිය දමා පිටි කරගෙන හෝ පිට්ටු සෑදීමට ගන්නා පිටි)
• ගාගත් පොල් කෝ. 2
• ලුණු දිය කල වතුර කෝප්පයක්
• සීනි කෝ. 1 1/4
• උණුවතුර මේස හැඳි 2
• කුඩු කරගත්න එනසහල් ඇට 4-5
• වැනිලා ස්වල්පයක්

වැලිතලප දින කීපයක් තබා ගැනීමට අවශ්‍ය නම් හාල් පිටි සහ ගාගත් පොල් ටික කබලක සුවඳ එන තරමට යන්තම් බැද ගන්න. (සම්පූර්ණයෙන් වියලි තත්වයට එන තුරු බැදීමෙන් වලකින්න.)

පසුව ඉඩ ඇති භාජනයකට පිටි ටික එක් කරගන්න. එයටම පොල් ටිකද එක් කර හොඳින් කලවම් කරන්න.

පිට්ටු මල් කරගැනීම.

සකස්කර ගත් ලුණු වතුරෙන් අත තරමක් තෙමා ගෙන, අතේ ඇඟිලි විහිදුවා, පිටි හා පොල් ඇඟිලි අතරින් යන ලෙස, භාජනය තුල අත රවුමට කරකවමින් ගෙන යන්න. පිට්ටු මල් කරගැනීම ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙහිදී පොල් හා පිටි වතුර සමඟ එක් වී සිහින් කැටිති සෑදීම සිදුවේ.

සම්පූර්ණ පිටි මිශ්‍රණයම කුඩා කැටිති බවට පත් වන තුරු දිගින් දිගටම අත තෙමමින් මෙසේ සිදුකරන්න. අවශ්‍ය නම් ලුණු මිශ්‍ර ජලය ස්වල්පයක් ඉසමින් මල්කර ගැනීම කරන්න. සෑදෙන තරමක් විශාල පිටි කැට අත්ල දෙක එකට පිරිමදිමින් පොඩි කර ගන්න.

(වැලිතලප සඳහා සකස් කරගන්නා පිටි කැට ඉතා සහින් වීම වැදගත්)

ඉන්පසු මල්කර ගත් පිට්ටු මිශ්‍රණය හුමාලයෙන් තම්බා ගන්න.

ක්‍රමය 01.

පිට්ටු බම්බුවක් ආධාරයෙන් විනාඩි 5-10 තම්බා ගන්න.

ක්‍රමය 02.

ස්ටීමර් එකක් හෝ රයිස් කුකර් එකේ ස්ටීමර් එක ආධාරයෙන් විනාඩි 5-10 හුමාලයෙන් තම්බා ගන්න.

ක්‍රමය 03.

උතුරන වතුර භාජනයක් මත රෙද්දක් බැද ඒ මත පිට්ටු මිශ්‍රණය දමා තදකරගන්න. කූරක් හෝ හැඳි මිටක් ආධාරයෙන් හුමාලය ගමන් කිරීම සඳහා තැනින් තැන සිදුරු සකස් කරගන්න. ඒ උඩින් උස් පියනකින් හොඳින් වසා ගෙන විනාඩි 5-10 පමණ තම්බා ගන්න.

ලිපෙන් ඉවතට ගත් වහාම තැම්බුණු පිට්ටු ටික කුඩු කරගන්න.

පිට්ටු ටික උණුසුම්ව තබා පැණි සකස්කර ගන්න.

පැණි සකස් කරගැනීම සඳහා තරමක් ඉඩ ඇති භාජනයක් ගන්න. (අවසානයේ පිට්ටු ටිකද එයටම එකතු කරගැනීමට අවශ්‍ය නිසා)
සීනි කෝ. 1/4 පෑන් එකේ අඩිය වැසෙන ලෙස දමා වැඩි ගින්දරේ කරවීමට ඉඩ හරින්න. හැන්දක් භාවිතා නොකර අවශ්‍ය විට පෑන් එක කරකවා සීනි සියල්ල රන්වන් පැහැයට කැරමල් කර ගන්න.
සීනි සියල්ල දියවුනු පසු උණු වතුර මේස හැඳි 2 එකතු කර කැරමල් එක දිය කරගන්න.
ඉතිරි සීනි ටික ද එක් කර, අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක් කර සීනි ටික හොඳින් දිය කර ගන්න.
එනසහල් කුඩු එක් කරගන්න.
පැණි හොඳින් බුබුලු දමමින් උණු වන විට, පැණි ස්වල්පයක් හැන්දෙන් ගෙන වත්කරන විට නූලක් මෙන් ඇදෙන ආකාරයට පදම සකස් කරගන්න. අවසානයේ වැනිලා එක් කරන්න.
පසුව පැණි එකෙන් බාගයක් ඉවතට ගන්න.
ඉන්පසු පොඩිකරගත් පිට්ටු ටිකෙන් ටික එක් කරමින් හොඳින් මිශ්‍රකරගන්න. අවශ්‍ය විට ඉවතට ගත් පැණිද එක් කරමින් වැලිතලප මිශ්‍රණය සකස් කර ගන්න.
(විවධ සහල් වර්ග අනුව උරාගන්නා පැණි ප්‍රමාණය වෙනස් වය හැකි බැවින් පැණි එක් කිරීමේදී සැලකිලිමත් වෙන්න)
පිට්ටු සියල්ල පැණි සමඟ මිශ්‍ර වී සකස් වුණු වැලිතලප මිශ්‍රණය එක ගුලියක් බවට පත් වන තුරු ලිපේම තබා හැඳි ගාන්න.

ඉන්පසු වැලිතලප කෑලි කැපීම සඳහා ට්රේ එකක් හෝ කෙසෙල් කොළයක් උඩට දමා අවශ්‍ය ප්‍රමාණයට තුනී කරගන්න. උණුවෙන්ම කෑලි කැපීම සඳහා ඉරි ඇදගන්න. හොඳින් නිවුණු පසු කෑලි කපා වෙන්කරගන්න.

© kalSwijesooriya @ KC & Baby K



Friday, May 8, 2020

රුලං ටොෆී - Semolina Toffee



අවශ්‍ය ද්‍රව්‍ය 

  • රුලං කෝ. 1
  • සීනි කෝ. 1
  • එනසාල් ඇට 2
  • වැනිලා ස්වල්පයක් 
  • ගා ගත් පොල් කෝ. 1/2
  • උණු වතුර මේස හැඳි 2-3
  • ලුණු පිංචක්

කෑලි කපා ගත හැකි ට්‍රේ එකක් බටර් හෝ තෙල් ගා සූදානම් කර ගන්න.

රුලං ටික සුවඳ එන තුරු  කබලේ බැද ගන්න. 
පොල් ටිකට ලුණු එක්කර, තෙත හිඳෙන තුරු කබලේ බැද ගන්න.
සීනි ටිකෙන් බාගයක් පෑන් එකට දමා පෑන් එක කරකවමින් දිය කරගෙන කැරමල් කර ගන්න. 
ඉන්පසු ඉතිරි සීනි ටිකද එක් කර හොඳින් දිය කර ගන්න. උණු වතුර ස්වල්පයද එක් කර කලවම් කර ගන්න. එනසාල් හා වැනිලා එක් කරන්න. කලවම් කරමින් බැදගත් පොල් ටික එක් කරන්න. අවසානයේ රුලං එක් කර ඉක්මනින් කලවම් කරගන්න. 

සූදානම් කර ගත් ට්‍රේ එකට රුලං මිශ්‍රණය එක් කර ඉක්මනින් හැන්දෙන් තද කරමින් තුනී කරගන්න. උණුවෙන්ම කෑලි කපා ගැනීමට ඉරි ඇඳ ගන්න. නිවුණු පසු කෑලි වෙන් කරගන්න.

© kalSwijesooriya @ KC & Baby K

Tuesday, May 5, 2020

චොක්ලට් කේක් (ෆ්රයින් පෑන් එකේ හා අවන් එකේ) Chocolate, Coffe Cake (In oven and Stove)



අවන් එකේ බේක් කිරීමට 
  • බිත්තර 4
  • පිටි 250
  • මාගරින් 250
  • සීනි 250
  • කොකෝ පවුඩර් මේ.හැ. 4
  • බේකින් පවුඩර් තේ.හැ 1
  • ක්රීම් ඔෆ් ටාටර් තේ.හැ 1
  • වැනිලා තේ හැඳි 1
  • කිරි කෝප්ප 1/2
  • ක්ෂණික කෝපි තේ හැඳි 1(කැමති නම්)

කිරි ටික මදක් රත් කර එයට කෝපි එක් කර හොඳින් දියකර ගන්න.
සීනි කුඩා වන තුරු ග්රයන්ඩ් කර ගන්න. 
මාගරින් හා කුඩු කර ගත් සීනි ලොකු බෝල් එකකට එකතු කර බීට් කරන්න.
සීනි හොඳින් දිය වී මාගරින් සමඟ එක් වූ පසු බිත්තර එකින් එක මිශ්‍රණයට එක් කරමින් බීට් කරන්න. 
සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු වැනිලා එක් කරන්න. 
පිටි එකට, කොකෝ පවුඩර්, බේකින් පවුඩර්, ක්‍රීම් ඔෆ් ටාටර් එක් කර 3වතාවක් හලා ගන්න. 
තෙත මිශ්‍රණයට පිටි මිශ්‍රණය ටික ටික එක් කරමින් ලී හැන්දකින් පෙරලමින් මිශ්‍ර කර ගන්න. කිරි මිශ්‍රණයද ටික ටික එක් කරන්න.

තෙල් කඩදාසි එලා, බටර් ගාගත් ට්රේ එකට මිශ්‍රණය එක් කර දෙවරක් ට්රේ එක මේසය මත තට්ටු කරන්න. 

සෙල්සියස් අංශක 180 ට රත් කර ගත් අවන් එකක විනාඩි 45 -50 බේක් කර ගන්න.

ලිපේ සකස් කිරීමට
  • බිත්තර 3
  • පිටි 200g
  • සීනි 200g
  • දිය කර ගත් මාගරින් හෝ පිරිසිදු සුවඳ නැති තෙල් වර්ගයක් 250ml 
  • කොකෝ පවුඩර් මේ.හැ. 4
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බේකින් සෝඩා තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1
  • කිරි කෝප්ප 1/2
  • ක්ෂණික කෝපි තේ හැඳි 1(කැමති නම්)

කිරි ටික මදක් රත් කර එයට කෝපි එක් කර හොඳින් දියකර ගන්න.
සීනි කුඩා වන තුරු ග්රයන්ඩ් කර ගන්න. 
බිත්තර බ්ලෙන්ඩර් එකට එක් කර හොඳින් ගසා ගන්න. එයටම කුඩු කර ගත් සීනි එක් කර හොඳින් දිය වන තුරු ගසා ගන්න. තෙල් හෝ දිය කර ගත් බටර් එක් කර ගසා ගන්න. සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු වැනිලා එක් කරන්න. 
පිටි එකට, කොකෝ පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා එක් කර හලා ගන්න. 
තෙත මිශ්‍රණය බෝල් එකකට එක් කර, හලා ගත් පිටි මිශ්‍රණය ටික ටික එක් කරමින් ලී හැන්දකින් පෙරලමින් මිශ්‍ර කර ගන්න. කිරි මිශ්‍රණයද ටික ටික එක් කරන්න.

සකස් කර ගත් කේක් බැටර් එක සමාන කොටස් තුනකට බෙදා ගන්න. ෆ්රයින් පෑන් එක ලිපේ අඩුම ගින්දරේ යන්තම් රත් වන්නට තබන්න. වටේම හොඳින් තෙල් ආලේප කර ගන්න. බැටර් එක් කොටසක් එක් කර පෑන් එක දෙවතාවක් මේසය මත තට්ටු කරන්න. නැවත ලිප මත අඩුම ගින්දරේ තබා හොඳින් පියන වසා, විනාඩි 5-7 ක් කේක් එක පුලුස්සා ගන්න. මෙලෙස ලේයර් තුනම සකස් කරගන්න.
කේක් හොඳින් නිවුනු පසු ලේයර් තුන වෙන් කර, පිට පැත්ත කපා අවශ්‍ය හැඩයට කපා ගන්න.



බටර් ක්‍රීම් අයිසින්
  • මාගරින් 150
  • අයිසින් සීනි 350
  • කිරි ස්වල්පයක්
  • කොකෝ පවුඩර් 
  • ක්ෂණික කෝපි

ශීතකරණයෙන් පිටතට ගත් මාගරින් එකට අයිසින් සීනි ටික ටික එක් කරමින් බීට් කරන්න. ක්‍රීම් ආකාරයෙන් එක්වූ විට කොටස් දෙකකට බෙදාගන්න. 

එක් කොටසකට කිරි වල දිය කරගත් කෝපි එක් කෝපි එක් කර හොඳින් ගසා ගන්න.

අනෙක් කොටසට කොකෝ පවුඩර් එක් කර හොඳින් ගසා ගන්න.

කේක් බෝඩ් එකක් හෝ පිඟානක් මැදට සාදාගත් අයිසින් ස්වල්පයක් දමා එක් ලේයර් එකක්  ඒ මත තබා අලවාගන්න. කේක් එක මතට කිරි ස්වල්පයක් එක් කර තරමක් පොඟවාගන්න. ඒ මතට සකස් කර ගත් කෝපි අයිසින් මිශ්‍රණයෙන් අවශ්‍ය තරම් එක් කර හොඳින් තුනී කර ගන්න. තවත් ලේයර් එකක් ඒ මත තබා නැවත කිරි එක් කර පොඟවා අයිසින් එක් කර සැන්විච් කර ගන්න. ලේයර් තුනම මෙලෙස සකස් කර ගත් පසු කේක් එක සමතල වන ලෙස හා අවශ්‍ය හැඩයට ලබා ගැනීමට අවශ්‍ය තැන් කපා සකස් කර ගන්න. පසුව චොක්ලට් අයිසින් වලින් කේක් එක සම්පූර්ණයෙන් වසා ගන්න. කේක් එක මතු පිට සමතල වන ආකාරයෙන් පැතලි හැන්දක් ආධාරයෙන් සකස්කර ගන්න.

ඉන් පසු කේක් එක මතුපිට අයිසින් හොඳින් ඝන වන තුරු ශීතකරණයේ තබන්න. 


චොකලට් ගනාෂ්
  • චොක්ලට් පවුඩර් 100g
  • කුඩාවට කපා ගත් කුකින් චොක්ලට් 
  • අයිසින් සීනි 200g
  • බටර් මේ. හැඳි 1
  • කෝන් පිටි තේ හැඳි 1
  • කිරි කෝප්ප 1/4
  • වතුර ස්වල්පයක් 

කිරි එක ලිප ලබා රත් කර ගන්න. චොක්ලට් පවුඩර් හා අයිසින් සීනි එක් කර දිය වන තුරු මිශ්‍ර කරන්න. ලිපෙන් ඉවත් කර කුකින් චොක්ලට් එක් කර දිය කර ගන්න. දිය කරගත් කෝන් පිටි එක් කර ඝන වන තුරු මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් නැවත ලිප මත තබා බටර් ද එක් කර ඝන වැක්කෙරෙන සුලු මිශ්‍රණයක් සකස් කර ගන්න. 

මිශ්‍රණය සම්පූර්ණයෙන් නිවුණු පසු ශීතකරණයෙන් පිටත ගත් කේක් එක මතට වත් කරන්න. 

වැඩි ප්රමාණය ඉවත් වූ පසු කේක් එක වට පිරිසිදු කර ගන්න. 

කැබලි සිටින ලෙස කුඩුකර ගත් රෝස්ටඩ් රටකජු කේක් එක වටේ අලවා අලංකාර කර ගන්න.



© kalSwijesooriya @ KC & Baby K


රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්) අවශ්‍ය   ද්‍රව්‍ය රුලං   කෝ . 1 කිරි   කෝ . 2 1/2 බටර් /  ගිතෙල්   කෝ  1/2 සීනි   කෝ . 1 1/2...