• සුදු කැකුළු හාල් පිටි කෝ. 2 (සහල් දිය දමා පිටි කරගෙන හෝ පිට්ටු සෑදීමට ගන්නා පිටි)
• ගාගත් පොල් කෝ. 2
• ලුණු දිය කල වතුර කෝප්පයක්
• සීනි කෝ. 1 1/4
• උණුවතුර මේස හැඳි 2
• කුඩු කරගත්න එනසහල් ඇට 4-5
• වැනිලා ස්වල්පයක්
වැලිතලප දින කීපයක් තබා ගැනීමට අවශ්‍ය නම් හාල් පිටි සහ ගාගත් පොල් ටික කබලක සුවඳ එන තරමට යන්තම් බැද ගන්න. (සම්පූර්ණයෙන් වියලි තත්වයට එන තුරු බැදීමෙන් වලකින්න.)
පසුව ඉඩ ඇති භාජනයකට පිටි ටික එක් කරගන්න. එයටම පොල් ටිකද එක් කර හොඳින් කලවම් කරන්න.
පිට්ටු මල් කරගැනීම.
සකස්කර ගත් ලුණු වතුරෙන් අත තරමක් තෙමා ගෙන, අතේ ඇඟිලි විහිදුවා, පිටි හා පොල් ඇඟිලි අතරින් යන ලෙස, භාජනය තුල අත රවුමට කරකවමින් ගෙන යන්න. පිට්ටු මල් කරගැනීම ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙහිදී පොල් හා පිටි වතුර සමඟ එක් වී සිහින් කැටිති සෑදීම සිදුවේ.
සම්පූර්ණ පිටි මිශ්‍රණයම කුඩා කැටිති බවට පත් වන තුරු දිගින් දිගටම අත තෙමමින් මෙසේ සිදුකරන්න. අවශ්‍ය නම් ලුණු මිශ්‍ර ජලය ස්වල්පයක් ඉසමින් මල්කර ගැනීම කරන්න. සෑදෙන තරමක් විශාල පිටි කැට අත්ල දෙක එකට පිරිමදිමින් පොඩි කර ගන්න.
(වැලිතලප සඳහා සකස් කරගන්නා පිටි කැට ඉතා සහින් වීම වැදගත්)
ඉන්පසු මල්කර ගත් පිට්ටු මිශ්‍රණය හුමාලයෙන් තම්බා ගන්න.
ක්‍රමය 01.
පිට්ටු බම්බුවක් ආධාරයෙන් විනාඩි 5-10 තම්බා ගන්න.
ක්‍රමය 02.
ස්ටීමර් එකක් හෝ රයිස් කුකර් එකේ ස්ටීමර් එක ආධාරයෙන් විනාඩි 5-10 හුමාලයෙන් තම්බා ගන්න.
ක්‍රමය 03.
උතුරන වතුර භාජනයක් මත රෙද්දක් බැද ඒ මත පිට්ටු මිශ්‍රණය දමා තදකරගන්න. කූරක් හෝ හැඳි මිටක් ආධාරයෙන් හුමාලය ගමන් කිරීම සඳහා තැනින් තැන සිදුරු සකස් කරගන්න. ඒ උඩින් උස් පියනකින් හොඳින් වසා ගෙන විනාඩි 5-10 පමණ තම්බා ගන්න.
ලිපෙන් ඉවතට ගත් වහාම තැම්බුණු පිට්ටු ටික කුඩු කරගන්න.
පිට්ටු ටික උණුසුම්ව තබා පැණි සකස්කර ගන්න.
පැණි සකස් කරගැනීම සඳහා තරමක් ඉඩ ඇති භාජනයක් ගන්න. (අවසානයේ පිට්ටු ටිකද එයටම එකතු කරගැනීමට අවශ්‍ය නිසා)
සීනි කෝ. 1/4 පෑන් එකේ අඩිය වැසෙන ලෙස දමා වැඩි ගින්දරේ කරවීමට ඉඩ හරින්න. හැන්දක් භාවිතා නොකර අවශ්‍ය විට පෑන් එක කරකවා සීනි සියල්ල රන්වන් පැහැයට කැරමල් කර ගන්න.
සීනි සියල්ල දියවුනු පසු උණු වතුර මේස හැඳි 2 එකතු කර කැරමල් එක දිය කරගන්න.
ඉතිරි සීනි ටික ද එක් කර, අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක් කර සීනි ටික හොඳින් දිය කර ගන්න.
එනසහල් කුඩු එක් කරගන්න.
පැණි හොඳින් බුබුලු දමමින් උණු වන විට, පැණි ස්වල්පයක් හැන්දෙන් ගෙන වත්කරන විට නූලක් මෙන් ඇදෙන ආකාරයට පදම සකස් කරගන්න. අවසානයේ වැනිලා එක් කරන්න.
පසුව පැණි එකෙන් බාගයක් ඉවතට ගන්න.
ඉන්පසු පොඩිකරගත් පිට්ටු ටිකෙන් ටික එක් කරමින් හොඳින් මිශ්‍රකරගන්න. අවශ්‍ය විට ඉවතට ගත් පැණිද එක් කරමින් වැලිතලප මිශ්‍රණය සකස් කර ගන්න.
(විවධ සහල් වර්ග අනුව උරාගන්නා පැණි ප්‍රමාණය වෙනස් වය හැකි බැවින් පැණි එක් කිරීමේදී සැලකිලිමත් වෙන්න)
පිට්ටු සියල්ල පැණි සමඟ මිශ්‍ර වී සකස් වුණු වැලිතලප මිශ්‍රණය එක ගුලියක් බවට පත් වන තුරු ලිපේම තබා හැඳි ගාන්න.
ඉන්පසු වැලිතලප කෑලි කැපීම සඳහා ට්රේ එකක් හෝ කෙසෙල් කොළයක් උඩට දමා අවශ්‍ය ප්‍රමාණයට තුනී කරගන්න. උණුවෙන්ම කෑලි කැපීම සඳහා ඉරි ඇදගන්න. හොඳින් නිවුණු පසු කෑලි කපා වෙන්කරගන්න.
© kalSwijesooriya @ KC & Baby K

No comments:
Post a Comment